අත්තනගලු නිල සැරිය - සාර්ථක පළමු අදියර
=====================================
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවාවන් ගම තුළ දී ලබා දීමේ අවස්ථාව ජනතාවට හිමි වන "අත්තනගලු නිල සැරිය" ජංගම සේවා වැඩසටහනේ පළමු පියවර ලෙස පෙබරවාරි 25 දින ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවති වැඩසටහන තුළ දී සේවාවන් රැසක් සාර්ථකව ජනතාව වෙත ලබා දීමට හැකි විය.
වැඩිහිටි හැඳුනුම්පත් සකස් කිරීමට ජංගම සේවයට ලද අයදුම්පත් සඳහා වැඩිහිටි හැඳුනුම්පත් 115ක් එදින ම නිකුත් කිරීම, එදින වාර්තා වූ ජාතික හැඳුනුම්පත විකෘති වී හෝ දුර්වර්ණ වීම් සඳහා හැඳුනුම්පත අලුතින් සකස් කිරීමට ඡායාරූප/මුද්දර/ග්‍රාම නිලධාරී නිර්දේශ ඇතුලු සියලු අවශ්‍යතා සම්පූර්ණ කරන ලද නිර්දේශිත අයඳුම්පත් 96ක් එදින ම භාර ගැනීම මේ අතරින් සුවිශේෂී විය
මීට අමතරව විදේශගත ශ්‍රමිකයන්ගේ දරුවන්ට අධ්‍යාපන ආධාර සඳහා සම්පූර්ණ නිර්දේශිත අයඳුම්පත් 45ක් එදින ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් වෙත භාර දීම හා 30 දෙනෙකුට පමණ විදේශ රැකියා උපදේශනය ද සාර්ථකව සිදු කිරීමට පෙබරවාරි 25 අත්තනගලු නිල සැරිය ජංගම සේවය සමත් විය. එමෙන්ම විශ්‍රාම වැටුප් නොමැති රැකියාවල යෙදෙන්නන් සඳහා සාර්ථක දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් වන සමාජ ආරක්ෂණ විශ්‍රාම ප්රතිලාභ වැඩසටහනට එදින දැනුවත් කිරීම් හරහා පුද්ගලයන් 10ක් එදින ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයේ දී ම බඳවා ගත් අතර ඒ තුළින් පෙබරවාරි 25 දින ලද ආදායම රු. 177,000ක් විය.
තවද, ඉදිරිපත් වූ 40ක් පමණ රජයේ ඉඩම් ගැටලු අතරින් 10කට පමණ එදින ම අවසන් විසඳුම් ලබා දීමටත්, තවත් ගැටලු 30කට පමණ ගැටලු නිරාකරණය කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමටත් හැකි වූ අතර ඉදිරිපත් වූ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම (LRC) සතු ඉඩම් සම්බන්ධ ගැටලු සියල්ලෙහිම (78ක් පමණ) ඉඩම් නිරවුල් කිරීමේ ක්‍රියාවලිය එදින ම ආරම්භ කිරීමට අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම්තුමාගේ ආරාධනය අනුව වැඩසටහනට සහභාගී වූ ගම්පහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභා කාර්යාලයේ අධ්යක්ෂතුමන් ඇතුලු කාර්ය මණ්ඩලය කටයුතු කරන ලදී.
ජංගම සේවාව පැවැත්වෙන අතරතුර විදාතා නිලධාරීන් විසින් එම ප්‍රදේශයේ 60 දෙනෙකුට පමණ සබන් හා ඉටි පන්දම් නිෂ්පාදන වැඩසටහනක් ද පැවැත්වූ අතර කෘෂිකර්ම හා ජල ජීවී වගා උපදේශනය, ළමා හා කාන්තා උපදේශනය මෙන්ම කුඩා ව්‍යාපාර හා ව්‍යවසායකත්ව උපදේශනය, සමථකරණ දැනුවත් කිරීම් මෙන්ම සමෘද්ධි ඉතුරුම් හා ශිෂ්‍යත්ව ප්‍රදානයන් දවස පුරා ක්‍රියාත්මක විය.
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අමතරව අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම්තුමාගේ ඇරයුම පරිදි අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, අත්තනගල්ල පොලිස් ස්ථානය, ඌරාපොල තැපැල් කාර්යාලය, ඌරාපොල ගොවිජන සේවා මධ්‍යස්ථානය, ඌරාපොල සමෘද්ධි ප්‍රජාමූල බැංකුව, ගම්පහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභා කාර්යාලය, ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, සමාජ ආරක්ෂණ මණ්ඩලය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය ජංගම සේවා වැඩසටහන සඳහා සහයක සේවා ලබා දීම සිදු කරන ලදී.




























